Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 36 - Sinhala New Revised Version


සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි.


මිනිසාගේ දුෂ්ටකම

1 දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.

2 සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.

3 ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.

4 ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.


දෙවිඳුන්ගේ යහපත්කම

5 සමිඳුනි, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.

6 ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.

7 ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද? නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.

8 ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති; ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.

9 ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු.

10 ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව.

11 උඩඟු අය මට පහර නොදෙත් වා! නපුරු අය මා පලවා නොහරිත් වා!

12 දුදනෝ බිමට වැටී පෙරළී සිටිති. ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්