Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 34 - Sinhala New Revised Version


අබිමෙලෙක් වෙතින් නෙරපනු ලැබූ පසු දාවිත් ගැයූ ගීතයකි.


දෙවිඳුන්ගේ යහපත් බවට ප්‍රශංසාව

1 හැම වේලේ ම හිමි තුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. එතුමන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි.

2 මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;

3 මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු.

4 මම හිමි තුමන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.

5 එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.

6 හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.

7 හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.

8 හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.

9 එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න; මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත.

10 ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.

11 දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.

12 සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද? දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද?

13 එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය.

14 නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.

15 හිමි තුමන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.

16 පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.

17 දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.

18 හිමි තුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක; තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.

19 දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමි තුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.

20 එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක;

21 දුෂ්ටයා නපුරෙන් වැනසෙයි. දැහැමි අයට දෙස් තබන්නෝ දඬුවම් ලබන්නෝ ය.

22 හිමි තුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක. එතුමන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්