Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 33 - Sinhala New Revised Version


විමුක්ති ඉතිහාසය ගැන ප්‍රශංසා

1 දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.

2 වීණාව වයා හිමි තුමන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමන්ට පැසසුම් ගීත ගයන්න.

3 එතුමන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.

4 සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.

5 දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත.

6 හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය ද එතුමන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ.

7 එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක.

8 මුළු මහ පොළොව හිමි තුමන්ට බිය වේවා. සියලු ලෝ වැසියෝත් එතුමන්ට බියෙන් සිටිත් වා!

9 මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.

10 හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.

11 එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.

12 සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.

13 හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක.

14 එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක.

15 ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය.

16 චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.

17 ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත; උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි.

18 සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද

19 දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.

20 අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.

21 අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි.

22 සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්