Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 32 - Sinhala New Revised Version


දාවිත්ගේ අනුශාසනා ගීතයකි.


කමාව ලැබීමේ වාසනාව

1 අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.

2 වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.

3 මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය.

4 දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.

5 මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.

6 එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.

7 මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.

8 “නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.

9 අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න; උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය. නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.”

10 දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත. එහෙත්, හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටියි.

11 දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්