Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 30 - Sinhala New Revised Version


දාවිත්ගේ ගීතයකි. දේව ගෘහය කැප කිරීමේ ගීතයකි.


සුවය ගැන ප්‍රශස්ති ගීයක්

1 ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳුනි, ඔබට ප්‍රශස්ති ගී ගයමි.

2 මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.

3 සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක.

4 පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.

5 මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.

6 “සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.

7 සමිඳුනි, ඔබේ කරුණාවෙන් ඔබ මා නොසැලෙන පව්වක් මෙන් තහවුරු කළ සේක. එහෙත්, ඔබ මා කෙරෙන් සැඟවුණ විට, මම කැළඹුණෙමි.

8 සමිඳුනි, ඔබට හඬගැසීමි; සමිඳුන් හට කන්නලව් කෙළෙමි.

9 මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද? පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?

10 සමිඳුනි, සවන් දී මට කරුණා කළ මැනව. සමිඳුනි, ඔබ මාගේ සරණ වුව මැනව.

11 ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.

12 දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්