Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 29 - Sinhala New Revised Version


දාවිත්ගේ ගීතයකි.


මාරුත මැදින් දේව හඬ

1 දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න; එතුමන් තෙද බල පසසන්න.

2 හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.

3 සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.

4 සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.

5 සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි.

6 ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.

7 සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි;

8 සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.

9 සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි.

10 සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.

11 සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්