ගීතාවලිය 28 - Sinhala New Revised Versionදාවිත්ගේ ගීතයකි.දෙවි සරණ අයැදීම 1 සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව. ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත. 2 මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව. 3 සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව. 4 ඔවුන්ගේ ක්‍රියාවල හැටියට ද දුෂ්ට කල්ක්‍රියා අනුව ද ඔවුන්ට පල විපාක දුන මැනව; ඔවුන් කළ දේ අනුව ඔවුන්ට පල විපාක දුන මැනව. 5 ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක; යළි නොපිහිටුවන සේක. 6 සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක. 7 සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි. 8 සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය. එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක. 9 ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව; ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව. |
Ceylon Bible Society
Ceylon Bible Society