Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 26 - Sinhala New Revised Version


දාවිත්ගේ ගීතයකි.


සුදනෙකුගේ අයැදුම

1 සමිඳුනි, මා ගැන යුක්තිය ඉටු කළ මැනව. මන්ද, මාගේ හැසිරීම නිදොස් ය. සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත.

2 සමිඳුනි, මා සෝදිසි කොට, පරීක්ෂා කර බැලුව මැනව; මාගේ සිත හා මනස විමසා බැලුව මැනව.

3 ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි. ඔබට විශ්වාසී ව දවස් යැවීමි.

4 මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි; කෛරාටිකයන් ඇසුරු නොකරමි.

5 දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය. ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත.

6 නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.

7 සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.

8 සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.

9 පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.

10 ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ; ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත.

11 මම මේ නිදොස්කමින් දවස් යවමි; මා මුදා, මට කරුණා කළ මැනව.

12 මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්