Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

ගීතාවලිය 19 - Sinhala New Revised Version


දාවිත්ගේ ගීතයකි.


මැවිල්ලෙන් පළ වන දේව මහිමය

1 අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය.

2 එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.

3 කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.

4 එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.

5 මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,

6 හිරු රජිඳාණෝ අහසේ කොණකින් උදා වී අනික් කොණින් චාරිකාව නිම කරති. එහි රස්නය නොවදින තැනක් නැත්තේ ය.


සමිඳුන්ගේ ව්‍යවස්ථාව

7 සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.

8 සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,

9 සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.

10 රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.

11 එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.

12 මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද? නොදැන මා කළ පව් සෝදා හළ මැනව.

13 උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි.

14 මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්