Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 149 - Sinhala New Revised Version


ජය මංගල ගීය

1 සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.

2 තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා! තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!

3 එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!

4 සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක.

5 සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!

6 දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!

7 එසේ කරන්නේ, ජාතීන් කෙරෙහි පළිගැනීම පිණිස ය; මිනිස් වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ය;

8 ඔවුන්ගේ රජුන් යදමින් ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින් ද බඳින පිණිස ය;

9 ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය; මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්