Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 135 - Sinhala New Revised Version


මැවිල්ලෙන් ප්‍රකාශ වන සමිඳුන්ගේ ගුණ වැණුම

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.

2 සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමන්ට ප්‍රශංසා කරන්න.

3 සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමන්ගේ නාමයට ගී ගයන්න;

4 සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක.

5 සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි.

6 සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක.

7 එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක;

8 එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක.

9 එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක.

10 එතුමාණෝ බොහෝ විජාතීන්ට පහර දී, බලවත් රජුන් ඝාතනය කළ සේක.

11 අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක.

12 ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක.

13 සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.

14 මන්ද, සමිඳාණෝ තමන් සෙනඟට යුක්තිය ඉටුකර දෙන සේක. ස්වකීය මෙහෙකරුවන්ට අනුකම්පා කරන සේක.

15 විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය.

16 ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි;

17 කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත.

18 ඒවා සාදන්නෝත්, එමෙන් ම ඒවා විශ්වාස කරන සියල්ලෝත් ඒවාට සමාන වන්නෝ ය.

19 එම්බා ඉශ්රායෙල් වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

20 එම්බා ලෙවී වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ගරුබිය ඇත්තෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

21 සියොන්හි, ජෙරුසලමෙහි වැඩ වසන සමිඳාණෝ ප්‍රශංසා ලබන සේක් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්