Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 132 - Sinhala New Revised Version


දෙව් මැදුර ගැන ප්‍රශංසා ගීයක්

1 සමිඳුනි, දාවිත් වින්ද දුක් කරදර සියල්ල ඔහුගේ යහපත උදෙසා සිහිකළ මැනව.

2 ඔහු සමිඳුන්ට දිවුරමින්, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට පොරොන්දු වෙමින් කී මේ දේ සිහි කළ මැනව:

3 “මාගේ නිවෙස තුළට වත්, මාගේ යහනට වත් මම නොයන්නෙමි;

4 මම විවේකය නොගනිමි; දෑස පියා නොගනිමි.

5 සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”

6 බෙත්ලෙහෙමේ දී ගිවිසුම් කරඬුව ගැන ඇසුවෙමු. වන ලැහැබ් තුළ එය අපට සම්බ විය.

7 අපි එතුමන්ගේ මණ්ඩපවලට යන්නෙමු; එතුමන්ගේ පාපුටුව ළඟ නමස්කාර කරන්නෙමු.

8 සමිඳුනි, නැඟිට ඔබේ බල මහිමයේ සංකේතය වන ගිවිසුම් කරඬුව ඇති ව, ඔබේ විශ්‍රාම ස්ථානයට වැඩිය මැනව.

9 ඔබේ පූජකයෝ දැහැමිකමින් සැරසෙත් වා! ඔබේ සැදැහැවත්හු තුති ගොස කරත් වා!

10 ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.

11 සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.

12 නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”

13 සමිඳාණෝ සියොන් තෝරාගත් සේක. සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක.

14 මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ. මම මෙහි වැඩ වසන්නෙමි; මම ඊට කැමැති වෙමි.

15 සියොන්හි වැසියන්ට ආහාර බහුලත්වයෙන් මම ආසිරි දෙන්නෙමි; එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.

16 එහි පූජකයන් ගැළවීමේ සළුවෙන් සරසන්නෙමි. එහි සැදැහැවත්හු තුති ගොස කරන්නෝ ය.

17 එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.

18 ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි. එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්