Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 118 - Sinhala New Revised Version


ගැළවුම්කරුට තුති ගීයක්

1 සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.

2 “එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!

3 “එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ආරොන්ගේ වංශය දැන් කියත් වා!

4 “සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා!

5 මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි. සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක.

6 සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද?

7 සමිඳාණෝ මාගේ පැත්තෙහි ය; මාගේ උපකාරකයාණෝ ය. එබැවින්, වෛර කරන්නන්ගේ පරාජය මම දකින්නෙමි.

8 මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.

9 අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.

10 බොහෝ සතුරෝ මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.

11 ඔව්හු මා වට කරගත්හ; එසේ ය, මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.

12 ඔව්හු මී මැස්සන් මෙන් මා වට කරගත්හ; ගිනිගත් කටු පඳුරක් මෙන් ඔව්හු ඇවිළී ගියහ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.

13 වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි; එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක.

14 සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති; එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය.

15 ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.

16 සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.

17 මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.

18 සමිඳාණෝ දැඩි ලෙස මට දඬුවම් දුන් සේක. එහෙත්, මරුවාට මා පාවා නුදුන් සේක.

19 දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි.

20 මෙන්න, සමිඳුන්ගේ දොරටුව! දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය.

21 මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක.

22 ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.

23 මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය.

24 මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.

25 සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව.

26 සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.

27 සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.

28 ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.

29 සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්