Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගණන් කථාව 23 - Sinhala New Revised Version


බාලාම්ගේ පළමු වන අනාවැකිය

1 බාලාම් බාලාක්ට කතා කොට, “මෙහි මට පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.

2 බාලාම් කී පරිදි බාලාක් කළ පසු, දෙදෙනා ම එක එක පූජාසනය මත එක ගොනෙකු හා එක බැටළු වස්සෙකු බැගින් පූජා කළහ.

3 ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය.

4 එහි දී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන් වහන්සේ අමතා, “මම පූජාසන හතක් තනා ඒ එක එක මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළෙමි”යි කී ය.

5 උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක.

6 ඔහු ද බාලාක් වෙත ගිය විට, බාලාක් සහ මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය.

7 එවිට බාලාම් මේ අනාවැකිය කී ය: “මෝවබ්හි භූපති බාලාක් මා කැඳවූයේ, ආරාම් රටිනි, පෙරදිග කඳුකරයෙනි, ඔහු මා ඇමතූයේ, ‘ එන්න, මා වෙනුවෙන් ඉශ්රායෙල් ජනයාට සාප කරන්න. එන්න, ඉශ්රායෙල් ජනයා හට දෙස් කියන්න’ කියා ය.

8 දෙවිඳුන් සාප නොකළ අයට මම කෙසේ සාප කරම් ද? සමිඳුන් දෙස් නොකී අයට මම කෙසේ දෙස් කියම් ද?

9 ගිරිකුළුවලින් එපිට මට ඔවුන් පෙනේ, කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස් වේ. ඔව්හු වෙන් ව වසන සෙනඟක් වෙති. ජාතීන් අතර නොගැණෙන සෙනඟක් වෙති.

10 ධූලි වැනි ජාකොබ්ගේ පෙළපත ගිණිය හැක්කේ කාට ද? ඉශ්රායෙල් පරපුර ගිණීමට සමතා කවරෙක් ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත් වෙම් වා! මා අවසානය ඔවුන්ගේ මෙන් ම වේ වා!”

11 එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය.

12 බාලාම් ඔහුට පිළිතුරු දෙමින්, සමිඳාණන් වහන්සේ මට කියන දේ පමණක් කීමට මම වග බලාගත යුතු නොවෙම් දැ”යි ඇසී ය.


බාලාම්ගේ දෙ වන අනාවැකිය

13 බාලාක් බාලාම්ට කතා කොට, “ඔබ කරුණාකර, මා සමඟ වෙන තැනකට එන්න. එහි දී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතැන සිට ඔවුන් සියල්ලන් නොව, ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතැන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නැ”යි ඉල්ලී ය.

14 මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.

15 ඉන්පසු බාලාම් බාලාක්ට කතා කොට, “ඔබේ දවන යාග පූජාව ළඟ ඔබ සිටින්න. මම අතනට ගොස් සමිඳාණන් වහන්සේ හමුවෙමි”යි කී ය.

16 සමිඳාණන් වහන්සේ බාලාම්ට මුණ ගැසී, ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නැ”යි වදාළ සේක.

17 බාලාම් ඔහු වෙත ගිය විට බාලාක් හා මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය. බාලාක් ද, “සමිඳාණන් වහන්සේ කුමක් කීවේ දැ”යි විචාළේ ය.

18 එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න;

19 දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද?

20 බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය.

21 ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.

22 දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත.

23 ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.

24 පුදුමයෙන් පුදුමයකි! සිහ දෙනක මෙන් සෙනඟ නැඟිටිනු ඇත. සිහ රදෙකු මෙන් ගොදුර බලා පනිනු ඇත, ගොදුර කන තුරු, මැරූවන්ගේ ලේ බොන තුරු, ඌ ලගින්නේ නැත.”

25 එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔවුන්ට සාප කිරීමට අකමැති නම්, යටත් පිරිසෙයින් ඔවුන්ට ආසිරි නොපතන්නැ”යි කී විට,

26 ඔහු උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ කියන දේ මා කළ යුතු බව මම ඔබට කලින් නොකීවෙම් දැ”යි ඇසී ය.


බාලාම්ගේ තුන් වන අනාවැකිය

27 ඉන්පසු බාලාක් බාලාම්ට කතා කොට, “එන්න, කරුණාකර, මම ඔබ වෙනත් තැනකට ගෙන යමි. ඇතැම් විට එතැන සිටවත් මා වෙනුවෙන් මොවුන්ට සාප කිරීමට දෙවියන් වහන්සේ ඔබට අවසර දෙත හැකි ය”යි කී ය.

28 මෙසේ කියා, ඔහු කාන්තාරය ඉදිරිපිට වූ පෙයොර් නම් කඳු මුදුනට බාලාම් ගෙනාවේ ය.

29 ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.

30 බාලාම් කී පරිදි බාලාක් කළ පසු, ඔහු එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්