Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එසකියෙල් 15 - Sinhala New Revised Version


මිදි වැලේ උපමාව

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:

2 “මනුෂ්‍ය පුත්‍රය, වනයේ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීවල අගයක් තිබේ ද?

3 මිදි වැලේ ලීයෙන් කිසිවක් තැනිය හැකි ද? නොහොත් යම් භාජනයක් එල්ලා තබන්න ඇබයක් වත් සාදාගත හැකි ද?

4 බලන්න, එය දර පිණිස ගින්නට දැමෙයි. එහි කොන් දෙක ගින්නෙන් දැවී ගොස් මැදත් අඟුරු වී ඇත. එය යම් වැඩකට සුදුසු ද?

5 එය හොඳින් තිබිය දී වත් කිසි වැඩකට සුදුසු නො වී ය. එසේ නම්, එය ගින්නෙහි දැවී අඟුරු වී තිබිය දී කිසිවකට සුදුසු වන්නේ කෙසේ ද? යම් වැඩකට යොදාගත හැකි ද?

6 “එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම වනයෙන් මිදි වැලේ ලීය ගෙන පුළුස්සාදැමුවාක් මෙන් ජෙරුසලම් වැසියන්ට දඬුවම් කරන්නෙමි.

7 මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

8 ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ “

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්