Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

උත්පත්ති 36 - Sinhala New Revised Version


ඒසව්ගේ පෙළපත
( 1 වංශා 1:34-37 )

1 ඒසව් හෙවත් ඒදොම්ගේ පෙළපත මෙසේ ය.

2 ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා

3 සහ නෙබායෝත්ගේ සහෝදරී වූ ද, ඉෂ්මායෙල්ගේ දුව වූ ද බාසෙමත් ය.

4 ඒසව්ට දාව, ආදාගෙන් එලිපස් ද, බාසෙමත්ගෙන් රෙවුයෙල් ද,

5 ඔහොලිබාමාගෙන් ජෙවුෂ් ද, ජලාම් ද, කෝරා ද උපන්හ. කානාන් දේශයේ දී ඒසව්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.

6 ඒසව් තම භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද ගෙදර වැසි සියල්ලන් ද ගවයන් ද සියලු මෘගයන් ද කානාන් දේශයේ දී තමන් උපයාගත් සියලු වස්තුව ද රැගෙන, තම සොහොයුරු වන ජාකොබ් වෙතින් අන් රටකට ගියේය.

7 මන්ද, ඔවුන්ට එකට පදිංචි වීමට නොහැකි තරමට ඔවුන්ගේ ධනය විශාල විය. ඇරත් ඔවුන් විදේශිකයන් මෙන් විසූ රටෙහි, ඔවුන්ගේ ගොවිපළවල් නිසා ඔවුන්ට ඉඩ මදි විය.

8 මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.

9 සේයිර් කන්දෙහි විසූ ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත හා

10 ඔහුගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙය වේ: ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිපස්, බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්,

11 එලිපස්ගේ පුත්‍රයන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස් ය.

12 තවද, තිම්නා ඒසව්ගේ පුත්‍ර එලිපස්ගේ අනියම් බිරිඳ වූවා ය. ඇයගෙන් එලිපස්ට දාව අමලෙක් උපන්නේ ය. ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝ මොවුහු ය.

13 රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. මොවුහු ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ මුණුබුරෝ ය.

14 ශිබෙයොන්ගේ පුත්‍රයා වන අනාගේ දුව වූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම්, ඇයගෙන් ඔහුට දාව උපන් ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.

15 ඒසව්ගේ පෙළපතේ අධිපතීහු නම් ඔහුගේ කුලුඳුල් පුත් එලිපස්ගේ පුත්‍රයෝ ය. මොවුහු නම් අධිපතීන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, කෙනස්,

16 කෝරා, ගයිතාම් සහ අමලෙක් ය. ඒදොම් දේශයේ එලිපස්ගෙන් පැවත ආ අධිපතීහු මොවුහු ය. තවද මොවුහු ආදාගේ පුත්‍රයෝ ය.

17 ඒසව්ගේ පුත්, රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. ඒදොම් දේශයේ රෙවුයෙල්ගෙන් පැවත ආ මේ අධිපතීහු ඒසව්ගේ භාර්යාව වන බාසෙමත්ගේ පුත්‍රයෝ ය.

18 ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය. මොවුහු අනාගේ දුව ද, ඒසව්ගේ භාර්යාව ද වූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝ ය.

19 ඒදොම් හෙවත් ඒසව්ගේ පුත්‍රයන් සහ ඔවුන්ගේ අධිපතීහු මොවුහු ය.


සේයිර්ගේ පෙළපත
( 1 වංශා 1:38-42 )

20 ඒ දේශයෙහි විසූ හෝරිය ජාතික සේයිර්ගේ පුත්‍රයෝ නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,

21 දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.

22 ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය.

23 ෂෝබාල්ගේ දරුවෝ නම් අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපෝ සහ ඕනාම් ය.

24 ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය.

25 අනාගේ දරුවෝ නම් දීෂොන් සහ අනාගේ දුව වූ ඔහොලිබාමා ය.

26 දීෂොන්ගේ දරුවෝ නම් හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.

27 එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය.

28 දීෂාන්ගේ දරුවෝ ඌශ් සහ අරාන් ය.

29 හෝරිවරුන්ගෙන් පැවත ආ අධිපතීහු නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,

30 දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු සේයිර් දේශයෙහි තමන්ගේ ගෝත්‍ර අනුව හෝරිවරුන්ගේ අධිපතියෝ ය.


ඒදොම් දේශයෙහි රජවරු
( 1 වංශා 1:43-54 )

31 ඉශ්රායෙල්වරුන්ගේ රජෙකු එහි රජකම් කිරීමට පෙර ඒදොම් දේශයෙහි රජකම් කළ රජවරු මොවුහු ය.

32 බෙයෝර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම දින්හාබා ය.

33 බෙලා මළ පසු, ඔහු වෙනුවට බොශ්රායේ ගෙරාගේ පුත්‍ර ජෝබාබ් රජකම් කෙළේ ය.

34 ජෝබාබ් මළ පසු ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම් කෙළේ ය.

35 හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.

36 හදද් මළ පසු, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම් කෙළේ ය.

37 ෂම්ලා මළ පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජකම් කෙළේ ය.

38 ෂාවුල් මළ පසු, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හනන් රජකම් කෙළේ ය.

39 අක්බොර්ගේ පුත්‍ර බාල්-හනන් මළ පසු, ඔහු වෙනුවට හදාර් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායු ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහබ්ගේ දුව වූ මත්රෙද්ගේ දූ ය.

40 තම තමන්ගේ පෙළපත හා තම තමන්ගේ පේරුව අනුව, ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමාවලිය නම් තිම්නා, අල්වා ජෙතේත්,

41 අධිපති ඔහොලිබාමා, ඒලා, පීනොන්,

42 අධිපති කෙනස්, තොමාත්, මිබ්ශාර්,

43 අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්