Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

උත්පත්ති 16 - Sinhala New Revised Version


හාගර් සහ ඉෂ්මායෙල්

1 ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.

2 එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට, “බලන්න, සමිඳාණන් වහන්සේ මා දරු පල ලැබීමෙන් වළක්වා ඇත. කරුණාකර, මාගේ වහල් කෙල්ල වෙත යන්න. සමහරවිට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්න පුළුවනැ”යි කීවා ය. ආබ්‍රම් ද සාරයිගේ කීමට එකඟ විය.

3 මෙලෙස ආබ්‍රම් කානාන් දේශයෙහි අවුරුදු දහයක් විසූ පසු, ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි මිසර ජාතික සිය වහල් කෙල්ල වන හාගර් සිය සැමියා වන ආබ්‍රම්ට භාර්යාව කොට දුන්නා ය.

4 ඔහු ඈ සමඟ එක් වූ පසු ඈ පිළිසිඳගත්තා ය. හාගර් පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවෙන්,

5 සාරයි ආබ්‍රම්ට කතා කොට, “මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය.

6 ආබ්‍රම් ද සාරයිට උත්තර දෙමින්, “මෙන්න, ඔබේ වහල් කෙල්ල, ඔබ ම ඈ බාරගන්න. ඔබ කැමැති දෙයක් ඇයට කරන්නැ”යි කී ය. එවිට සාරයි, ඇයට තදින් හිරිහැර කෙළෙන් ඈ තම ස්වාමිදුව වෙතින් පලා ගියා ය.

7 මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයෙහි තිබෙන පාළුකරයේ දිය උල්පතක් ළඟ දී සමිඳාණන් වහන්සේගේ දූතයාට ඈ හමු වූවා ය.

8 ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය.

9 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය.

10 ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.

11 ඔබ දරුවකු පිළිසිඳ ඇත; පුතකු බිහි කරනු ඇත; හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න.

12 ඒ මිනිසා වල් මීමෙකි. කාටත් ඔහු එරෙහි වේවි. කවුරුත් ඔහුට එරෙහි වේවි. නෑදෑයින් හැරදමමින් කල් යවාවි.”

13 තවද, ඈ තමාට කතා කළ සමිඳාණන් වහන්සේට, ‘ඔබ සියල්ල දකින දෙවියෝ ය.’ යන අර්ථය ඇති එල්-රෝයි කියා නම් කළා ය. ඒ මන්ද, ‘මා දුටු තැනැන් වහන්සේ මාත් දැක මම තව ම ජීවත් ව සිටිනවා නොවෙම් දැ’යි ඈ තමාගෙන් ම ප්‍රශ්න කළ බැවිනි.

14 කාදේෂ් සහ බෙරෙද් අතර පිහිටි ඒ ළිඳට මා දක්නා ජීවමාන තැනැන් වහන්සේගේ ළිඳ යන අර්ථ ඇති ‘බෙයර්-ලහයි-රෝයි’ යන නම තබන ලද්දේ එබැවිනි.

15 හාගර් ආබ්‍රම්ගෙන් පුත්‍රයෙකු ලැබුවා ය. ආබ්‍රම් ඔහුට ඉෂ්මායෙල් යන නම තැබී ය.

16 මෙකල ආබ්‍රම්ගේ වයස අවුරුදු අසූහයක් විය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්