Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

උත්පත්ති 13 - Sinhala New Revised Version


ආබ්‍රම් ලොත්ගෙන් වෙන් වීම

1 ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය.

2 ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය.

3 එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරෙන් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින්, බෙතෙල් හා ආයි නුවර අතර, පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය.

4 පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කෙළේ මේ ස්ථානයේ ය. මෙහි දී ඔහු සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.

5 ආබ්‍රම් සමඟ ගමන් කළ ලොත්ට ද එළු බැටළු, ගවමහිෂයන් සහ ඔහු සමඟ කඳවුරු බැඳගත් පිරිසක් ද වූ හ.

6 එබැවින් ඔවුන් දෙදෙනාට ම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තණ බිම් එහි නොතිබිණි. ඔවුන්ට අයිති ගවසම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක් ව විසීමට නොහැකි විය.

7 එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළෝ ය.

8 එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය.

9 මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.

10 ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.

11 එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැනිතලාව ම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේ ය; ඒ දෙදෙනා මෙලෙස එකිනෙකාගෙන් වෙන් වූ හ.

12 ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය.

13 සොදොම් නුවර වාසීහු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ, නපුරු, මහ අපරාධකාරයෝ වූ හ.


ආබ්‍රම් හෙබ්‍රොන් දෙසට යෑම

14 ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න.

15 නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි.

16 ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ.

17 දැන් නුඹ නැඟිට රට පුරා ම ඇවිදින්න. මම මේ සියල්ල ම නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.

18 මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්