Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

2 ලේකම් 27 - Sinhala New Revised Version


ජෝතාම්ගේ රාජ්‍ය කාලය
( 2 රාජා 15:32-38 )

1 ජෝතාම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.

2 තමාගේ පිය වූ උශ්ශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූයේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝ ය.

3 ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ද ඕපෙල් පවුරේ බොහෝ තැන් ද ගොඩනැඟුවේ ය.

4 ජුදා කඳු රටෙහි නගර ද මූකළන්වල බලකොටු ද මුරකොටු ද ඔහු ගොඩනැඟුවේ ය.

5 ඔහු අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු, අම්මොන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයක් ද තිරිඟු මෙට්රික් ටොන්‍ දහසක් ද යව මෙට්රික් ටොන්‍ දහසක් ද ඔහුට දුන්නෝ ය. දෙ වන, තුන් වන අවුරුදුවල දීත් අම්මොන්වරු එසේ ගෙවූ හ.

6 මෙසේ ජෝතාම් දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහ මඟ ගිය බැවින් බලවත් විය.

7 ජෝතාම්ගේ අනික් ක්‍රියා ද සියලු යුද්ධ ද ඔහුගේ ප්‍රතිපත්ති ද ඉශ්රායෙල් සහ ජුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.

8 ඔහු විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය.

9 ජෝතාම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්