Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

2 ලේකම් 21 - Sinhala New Revised Version


ජෙහෝරාම් රජ
( 2 රාජා 8:17-24 )

1 ජෙහෝෂාපාට් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.

2 ජෙහෝෂාපාට්ගේ පුත්‍රයන් වන අශරියා, ජෙහීයෙල්, ශෙකරියා, අශරියා, මීකායෙල්, ෂෙපටියා යන මොවුහු ඔහුගේ සහෝදරයෝ ය. මේ සියල්ලෝ ඉශ්රායෙල්හි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත්‍රයෝ ය.

3 ඔවුන්ගේ පියා රන් රිදී ද අනර්ඝ දේවල් ද වන බොහෝ තෑගි ද ජුදාහි බලකොටු නගර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත්, ජෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය බාර දුන්නේ ය.

4 ජෙහෝරාම් තම පියාගේ රාජ්‍යයට පැමිණ බලවත් වූ කල, තමාගේ සියලු සහෝදරයන් ද ඉශ්රායෙල්හි සමහර අධිපතීන් ද කඩුවෙන් මැරී ය.

5 ජෙහෝරාම් තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි අට අවුරුද්දක් රජකම් කෙළේ ය.

6 ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුවක සරණ පාවා ගත්තේ ය. මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.

7 එහෙත්, සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් සෑමකල්හි ම නොනිවෙන පහනක් සේ එහි රජකම දෙන්න පොරොන්දු වූ නිසා ද දාවිත්ගේ වංශය නැති කරන්න අකමැති වූ සේක.

8 ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා ජුදාවරුන් යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත්කර ගත්තෝ ය.

9 එවිට ජෙහෝරාම් තමාගේ අධිපතීන් ද සියලු රථ ද සමඟ ගොස්, රාත්‍රියේ නැඟිට, තමා වටකර සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය.

10 මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය.

11 ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය.

12 තවද, දිවැසිවර එලියා විසින් ලියන ලද ලියවිල්ලක් ඔහුට ලැබුණේ ය. එහි ලියා තිබුණේ, “ඔබේ පියා වන දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔබේ පිය වූ ජෙහෝෂාපාට්ගේ අඩි පාරේත්, ජුදාහි රජ වූ ආසාගේ අඩි පාරේත් ඔබ නොගොස්,

13 ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, ආහබ්ගේ වංශය කළ පරිදි ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද අන් දෙවිවරුන් ඇදහීමට පමුණුවා, ඔබේ පියාගේ වංශය වන, ඔබට වඩා යහපත් වන ඔබේ සහෝදරයන් මැරූ බැවින්,

14 සමිඳාණන් වහන්සේ ඔබේ සෙනඟටත්, ඔබේ දරුවන්ටත්, ඔබේ භාර්යාවන්ටත්, ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩා කරනු ඇත.

15 ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටී යන ලෙස ඒවායෙහි දරුණු රෝග වන්නේ ය” කියා ය.

16 එලෙස සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කුෂ්වරුන්ට ළං ව වාසය කරන අරාබිවරුන්ගේ ද සිත් ජෙහෝරාම්ට විරුද්ධ ව පෙළඹෙවූ සේක.

17 ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.

18 මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල් වල වැළඳි අසාධ්‍ය රෝගයකින් සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක.

19 එම රෝගය කලක් පැවතිණි. දෑවුරුද්දක් පසු වූ කල, ඒ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේ ය. ඔහු ද දරුණු රෝග වේදනාවෙන් මළේ ය. ඔහුගේ පියවරුන්ගේ ගෞරවය ලෙස ගිනි මැලයක් දැල් වූ පරිදි ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනි මැලයක් නොදැල් වූ හ.

20 ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත්, තැන්පත් කෙළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්