Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 ලේකම් 20 - Sinhala New Revised Version


දාවිත් රජ රබ්බා යටත් කිරීම
( 2 සාමු 12:26-31 )

1 තවද, ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත් ව යන කාලය පැමිණි විට, ජෝවාබ් යුද්ධ සේනාව ගෙන ගොස් අම්මොන්වරුන්ගේ රට පාළු කොට, රබ්බා නුවරට අවුත් එය වටලාගත්තේ ය. එහෙත්, දාවිත් ජෙරුසලමෙහි නැවතී සිටියේ ය. ජෝවාබ් රබ්බාට පහර දී එය නාස්ති කෙළේ ය.

2 දාවිත් ඔවුන්ගේ රජුගේ රන් ඔටුන්න මිල්කොම් රජුගේ හිසින් පැහැර ගෙන එය කිලෝග්‍රෑම් තිස්හතරක් බර ඇති බව දැනගත්තේ ය. එහි අනර්ඝ මැණික් ද තිබුණේ ය. එය දාවිත්ගේ හිස පිට තබන ලද්දේ ය. ඔහු ද කොල්ලකාගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේ ය.

3 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය.


පිලිස්තිවරුන් පරාජය කිරීම
( 2 සාමු 21:15-22 )

4 ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.

5 නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය. ජායිර්ගේ පුත් එල්හානාන් ගිත්තීය ජාතික ගොලියත්ගේ සහෝදර වූ ලහමි මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන විය.

6 නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් විය. ඔහුට අත් පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේ ය. ඔහු ද යෝධයාට දාව උපන් කෙනෙකි.

7 ඔහු ඉශ්රායෙල්වරුන්ට විරෝධය දැක්වූ කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමියාගේ පුත් ජොනතන් ඔහු මැරුවේ ය.

8 මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්