1 ලේකම් 14 - Sinhala New Revised Versionදාවිත් රජ ජෙරුසලමේ නැවතී සිටීම ( 2 සාමු 5:11-16 ) 1 තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය. 2 දාවිත් ද තමා ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට සමිඳාණන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේ ය. මන්ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් උදෙසා ඔහුගේ රාජ්‍යය සමෘද්ධිමත් වී තිබුණේ ය. 3 දාවිත් ජෙරුසලමේ දී තවත් භාර්යාවන් පාවාගත්තේ ය. දාවිත්ට දාව තව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය. 4 ජෙරුසලමේ දී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන්; 5 ඉබ්හාර්, එලිෂුවා සහ එල්පෙලෙත්; 6 නොගා, නෙපෙග් සහ ජපියා, 7 එලිෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත් ය. පිලිස්තිවරුන් පරාජය කිරීම ( 2 සාමු 5:17-25 ) 8 දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය කෙරෙහි රජ කොට අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල, ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධ ව පිටත් ව ගියේ ය. 9 පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය. 10 දාවිත් කතා කොට, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මා අතට පාවා දෙන සේක් ද?” කියා දෙවියන් වහන්සේගෙන් පිළිවිසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම ඔවුන් නුඹේ අතට පාවා දෙමි”යි ඔහුට වදාළ සේක. 11 ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝ ය. දාවිත් එහි දී ඔවුන්ට පහර දී, කතා කරමින්, “දෙවියන් වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැල්මක් මෙන් විසුරුවා හැරිය සේකැ”යි කීවේ ය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබී ය. 12 ඔව්හු තමන්ගේ දේව රූප එහි අත්හැර ගියෝ ය. එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුළුස්සා දමන ලද්දේ ය. 13 නැවතත් පිලිස්තිවරු මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය. 14 දාවිත් නැවත දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. දෙවියන් වහන්සේ ද උත්තර දෙමින්, “නුඹ ඔවුන් පස්සේ නොගොස්, ඔවුන් වෙතින් හැරී වටකරින් ගොස්, ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් සමඟ සටනට යන්න. 15 තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි ශබ්දයක් නුඹට ඇසෙන විට සටනට පිටත් ව යන්න. මන්ද, එවිට දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන්න නුඹට පෙරටුවෙන් පිටත් ව යන සේකැ”යි ඔහුට වදාළ සේක. 16 දාවිත් දෙවියන් වහන්සේ අණ කළ ලෙස කෙළේ ය. ඔව්හු ගිබියොන් සිට ගෙශෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දුන්නෝ ය. 17 දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළ වී ගියේ ය. සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ සේක. |
Ceylon Bible Society
Ceylon Bible Society