හෙබ්‍රෙව් 8 - Sinhala New Revised Version 2018අලුත් ගිවිසුමේ උත්තම පූජකයාණෝ 1 අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන, 2 මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක. 3 සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතු ය. 4 උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි. 5 මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති. 6 එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක: 7 පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. 8 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක: “බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය. 9 එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි. 10 ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය. 11 සමිඳාණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්, සහෝදරයාටත් නූගන්වන්නේ ය. මන්ද, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය. 12 මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි. ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි.” 13 අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය. |