Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 31 - Sinhala New Revised Version 2018


මවගෙන් රජුට ඔවාබස්

1 මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය:

2 මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න.

3 ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.

4 ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි.

5 සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති.

6 මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය; සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය.

7 එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා.

8 තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න.

9 ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.


සත්ගුණවත් බිරිඳ

10 කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.

11 සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.

12 දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය.

13 ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි.

14 ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.

15 ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි.

16 ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි.

17 ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි.

18 සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි; රෑ යාමවල ඇගේ පහන නොනිවී දැල්වෙයි.

19 ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි.

20 ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත; එය යාචකාදීන් වෙත විදහා ඇත.

21 හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත; පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත.

22 ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි; ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත.

23 ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි.

24 ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි.

25 ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත.

26 ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.

27 ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.

28 ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.

29 “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි.

30 රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.

31 ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්