Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 29 - Sinhala New Revised Version 2018

1 බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.

2 දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති. අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති.

3 ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි; වෙසඟනන් ඇසුරු කරන්නා ඔහුගේ ධනය කාදමයි.

4 යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.

5 අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.

6 දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි; සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි.

7 දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි; දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි.

8 අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති.

9 නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත.

10 මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති; එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති.

11 අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.

12 පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ බවට පත් වෙති.

13 දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි.

14 සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.

15 කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.

16 දුදනන් පාලනයට පත් වන විට අපරාධ වැඩි වෙයි; එහෙත් සුදනෝ දුදනන්ගේ වැටීම දකිති.

17 පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.

18 ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්ත ය.

19 මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි.

20 හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.

21 මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.

22 කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.

23 අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි.

24 හොරෙකුට හවුල් වන්නා තමාගේ ම පරම සතුරෙකි; දිවුරුම් දුන්නත්, හොරා ඇත්ත නොපවසයි.

25 මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි.

26 පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය; එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි.

27 අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්