Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

සෙකරියා 12 - Sinhala New Revised Version 2018


ජෙරුසලමේ විමුක්තිය

1 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පො‍ළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:

2 “ජෙරුසලම, ඒ අවට ජාතීන් වෙරිමත් කරවන කුසලානක් සේ කරන්නෙමි. ඒ ජාතීන් ජෙරුසලම වටලන විට ජුදාහි සෙසු නගර ද වටලනු ලැබේ.

3 මම ඒ දවස පැමිණි විට සියලු ජාතීන්ට ජෙරුසලම බර ගලක් මෙන් කරන්නෙමි. එය උස්සන්න යන ජාතිය බොහෝ සේ තුවාළ ලබන්නේ ය. ලෝකයේ සියලු ජාතීහු එයට විරුද්ධ ව එක්රැස් වෙති.

4 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඒ කාලයේ දී මම සියලු අශ්වයන් බිය ගන්වා අසරුවන් වියරු වැටෙන්න සලස්වන්නෙමි. එහෙත්, මම ජුදාහි සෙනඟ රැක බලාගෙන ඔවුන්ගේ සතුරන්ගේ අශ්වයන් අන්ධ කරන්නෙමි.

5 එවිට ජුදාහි ගෝත්‍ර තම තමන් කතා කර ගනිමින්, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වසන සිය සෙනඟට ශක්තිය දෙන සේකැ’යි කියනු ඇත.

6 “ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.

7 “දාවිත්ගේ වංශයට හිමි මහිමය ද ජෙරුසලමේ වැසියන්ට ලැබෙන මහිමය ද ජුදාහි සෙසු කොටසට වඩා උසස් නොවන පිණිස මම පළමුකොට ජුදාවට ජය අත් පත් කර දෙන්නෙමි.

8 ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය.

9 ඒ කාලයේ දී මම ජෙරුසලමට පහර දෙන්න උත්සාහ කරන හැම ජාතියක් ම විනාශ කරන්නෙමි.”


සෙනඟ තමන්ගේ පාපය ගැන වැලපීම

10 “මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය.

11 ඒ කාලයේ දී මෙගිද්දෝ සමභූමියෙහි දී හදද්-රිම්මොන් ගැන වැලපෙන්නාක් මෙන් ජෙරුසලමේ වැලපීම මහත් වන්නේ ය.

12 දේශයෙහි එක එක ගෝත්‍ර වෙන් වෙන් වශයෙන් වැලපෙනු ඇත. දාවිත්ගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය. නාතාන්ගේ ගෝත්‍රයෙන් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.

13 ලෙවීගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද, ෂිමෙයි පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද

14 සෙසු සියලු ගෝත්‍රවල අය ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්