Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යොෂුවා 20 - Sinhala New Revised Version 2018


අභය භූමි නගර

1 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට,

2 “ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මෝසෙස් ලවා මා නුඹලාට ප්‍රකාශ කළ පරිදි අභය භූමි නගර තෝරාගන්න.

3 යම් මිනිසෙකු අදහස් නොකර හෝ වැරදීමකින් හෝ යමෙකු මැරුවොත් ඔහුට ඒ අභය භූමියට ගොස් පළිගන්නට සොයන්නාගෙන් ආරක්ෂා විය හැකි ය.

4 ඔහු ඒ නගරවලින් එකකට පලා ගොස් නගර දොරකඩ සිට ඒ නගරයේ ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි සිදු වූ කාරණය කියා සිටින්නේ ය. ඔවුන් ඔහු නගරයට පිළිගෙන තමන් සමඟ වාසය කරන පිණිස ඔහුට ස්ථානයක් දිය යුතු ය.

5 මැරීම ගැන පළිගන්නට සොයන මිනිසා ඔහු ලුහුබැඳ ආවොත්, ඔහු අතට මිනී මැරූ තැනැත්තා පාවා නොදිය යුතු ය. මන්ද, ඔහු තමාගේ අසල්වැසියා මැරුවේ පෙර තිබූ වෛරයක් නිසා නොව අත්වැරැද්දක් නිසා ය.

6 ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරු ද එවකට සිටින උත්තම පූජකයා නසින තුරු ද ඒ නගරයේ වසන්නේ ය. ඉන්පසු මිනී මැරූ තැනැත්තාට තමා අත්හැර ගිය තමාගේ නගරයටත්, තමාගේ ම ගෙදරටත් හැරී යා හැකි ය.

7 මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.

8 ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.

9 වැරදීමකින් මිනී මරන කවුරු නමුත්, සභාව ඉදිරියෙහි පෙනී සිටින්නට ප්‍රථම මිනී මැරීම ගැන පළිගන්නට සොයන්නාගේ අතින් මැරුම් නොකනු පිණිස පලා ගොස් සිටීමට සියලු ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන් අතරේ සිටින විදේශිකයන් ද උදෙසා නියම කරන ලද අභය භූමි නගර මේවා ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්