Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යොෂුවා 16 - Sinhala New Revised Version 2018


එප්‍රායිම් ගෝත්‍රයට දුන් ප්‍රදේශය

1 ජෝසෙප්ගේ පරපුරට පැවරුණු කොටසේ සීමාව නැගෙනහිර පාළුකරය ළඟ තිබෙන ජෙරිකෝවේ ගඟ ළඟ ජෙරිකෝව ඉදිරිපිට තිබෙන ජොර්දානේ පටන් ජෙරිකෝවෙන් කඳු රට මැදින් බෙතෙල්ට නැඟී ගොස්

2 බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අතාරෝත්ට පැමිණ

3 එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.

4 මනස්සේ සහ එප්‍රායිම් යන ජෝසෙප්ගේ පුත්‍රයෝ මෙසේ තමන්ගේ උරුමය ලැබූ හ.

5 එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;

6 උතුරු සීමාව මික්මෙතාත් සිට මධ්‍යධරණි මුහුදට විය. එතැනින් සීමාව නැගෙනහිරට හැරී තානත්-ෂීලෝ ළඟට ගොස්, ජනෝවාට නැගෙනහිරින් එය පසු කර වැටී තිබිණි.

7 ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.

8 තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. එප්‍රායිම් ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව තිබුණු උරුමය වනාහි

9 එය සහ මනස්සේගේ ගෝත්‍රයේ උරුමය තුළ එප්‍රායිම් ගෝත්‍රයට වෙන් කරන්නට යෙදුණු ඒවායේ සියලු නගර හා ගම් ද වේ.

10 ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්