Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 6 - Sinhala New Revised Version 2018


දිවැසිවර යෙසායා කැඳවනු ලැබීම

1 උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය.

2 සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.

3 එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”

4 ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය.

5 එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”

6 එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්,

7 එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.

8 එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.

9 උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.

10 මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත; කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත. ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ; කන්වලින් ඔවුන්ට නො ඇසේ; සිත්වලින් ඔවුන්ට නොවැටහේ.”

11 එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.

12 මම ජනයා ඈතට පහකර දමා මුළු දේශය පාළු කරන්නෙමි.

13 දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්