Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 59 - Sinhala New Revised Version 2018


පාප ගැන චෝදනා

1 ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.

2 නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.

3 නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.

4 යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,

5 මකුළු දැල් වියන සේ උපායයන් යොදන්නෝ ය. පොළොං බිජු අනුභව කරන්නෝ නසින්නෝ ය. බිජුවක් බිඳින විට එයින් තවත් පොළඟෙක් නික්ම එයි.

6 එහෙත්, ඒ උපායයන් ඇඳුම් සඳහා මකුළු දැල් වියාගැනීමක් මෙන් නිෂ්ඵල ය. නුඹලාගේ වැඩ අපරාධ වැඩ ය. නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහු ය.

7 නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.

8 සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති.


සෙනඟගේ පාපෝච්චාරණය

9 සෙනඟ මෙසේ කියති: “යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු. අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය; දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය.

10 අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු. ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.

11 අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.

12 සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු.

13 අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.

14 යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත.

15 සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”


සමිඳුන්ගේ පිහිට

16 පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක. එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.

17 එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.

18 එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.

19 එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.

20 සමිඳාණෝ සෙනඟට මෙසේ වදාරන සේක: “පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලු දෙනා ගළවන්නත්, ජෙරුසලමේ සිටින නුඹලා ආරක්ෂා කරන්නත් මම එන්නෙමි.

21 නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්