Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 46 - Sinhala New Revised Version 2018


පිළිමවල බලහීනකම

1 “බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.

2 මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය. ඔවුන් ම වහල්කමට ගොස් ඇත.

3 උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි! ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි! මට සවන් දෙන්න.

4 නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි; මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.

5 නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න: මා හා සම කිසිවෙක් ඇද් ද?

6 වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.

7 ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.

8 ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න.

9 පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.

10 අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.

11 මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.

12 ගැළවීමෙන් ඉතා ඈත් ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මට සවන් දෙන්න.

13 ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්