යෙසායා 43 - Sinhala New Revised Version 2018සමිඳුන් සිය සෙනඟ මුදාගැනීම 1 එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “බිය නොවන්න; මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬගැසීමි. නුඹලා මාගේ ය. 2 නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත. 3 මන්ද, මම නුඹලාගේ දෙවිඳාණෝ ය. නුඹලාගේ ගැළවුම්කාරයාණෝ ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ය. නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිසරය ද එතියෝපියාව හා ශෙබා ද මම දුනිමි. 4 නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි. 5 බිය නොවන්න; මම නුඹලා සමඟ සිටිමි. දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි. 6 ‘මාගේ සෙනඟට යන්න ඉඩ දෙන්නැ’යි උතුරටත්, ‘ඔවුන් නවත්වා නොගන්නැ’යි දකුණටත් මම කියන්නෙමි. මාගේ දූ පුතුන් නමින් කැඳවා, පොළොවේ දුර බැහැර සිට සෑම දිශාවෙන් ඔවුන් ගෙන එන්නෙමි. 7 ඔව්හු මාගේ ම සෙනඟ ය; මාගේ මහිමය සඳහා නිර්මාණය කොට, මවා වදාළෙමි.” සමිඳුන්ගේ සාක්ෂිකාරයෝ 8 දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිකරණය ඉදිරියට මාගේ සෙනඟ කැඳවන්න. ඔවුන්ට ඇස් ඇති නමුත් ඔව්හු අන්ධ ය; ඔවුන්ට කන් ඇති නමුත් බිහිරි ය. 9 සියලු සෙනඟ එක් රැස් කරන්න. ඔවුන් අතර අනාගතය ගැන කියන්න හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගෙන් කවරෙක් දැන් සිදු වන දේ ගැන කලින් කීවෝ ද? මේ අය තමන් නිවැරදි බවත්, ඔවුන් කියන දේ සත්‍ය බවත් ඔප්පු කරන පිණිස සාක්ෂිකාරයන් ඉදිරිපත් කරත් වා! 10 ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරාගතිමි. එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම්ගන්න පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත් ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත. 11 එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය; මා හැර අන් ගැළවුම්කාරයෙක් නැත. 12 සිදු වන්න යන දේ මම කලින් දැන්වීමි; ඉන්පසු නුඹලාට පිහිට වන්න මම පැමිණියෙමි. කිසිම විදේශීය දෙවියෙක් ඔබ සමඟ නොසිටියේ ය. මේ බවට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. 13 මම දෙවියන් වහන්සේ ය; සදහට ම එසේ වෙමි; මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකි ය. මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකි ය.” බබිලෝනියෙන් මිදී යාම 14 ඔබේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා ගළවන පිණිස මම බබිලෝනියට විරුද්ධ ව හමුදාවක් යවන්නෙමි. ඔවුන්ගේ නගරයේ දොරටු මම බිඳ හෙළන්නෙමි. බබිලෝනිවරුන්ගේ කෑගැසීම වැලපීමට හැරෙන්නේ ය. 15 මම සමිඳාණන් වහන්සේ ය; නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය; ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය. මම නුඹලාගේ රජාණෝ ය.” 16 බොහෝ ඉහත දී සමිඳාණෝ මුහුද මැදින්, මහා ජලය මැදින් පාරක් සෑදූ සේක. 17 එහි බලවත් හමුදාවක් ද රථවාහන හා අශ්වයන් ද එතුමාණෝ විනාශකළ සේක. ඔව්හු නැඟිටිය නොහැකි සේ එහි වැටුණෝ ය. පහන් තිරයක දැල්ල නිවී යන්නාක් මෙන් ඔව්හු නැතිවී ගියෝ ය. 18 එහෙත්, සමිඳාණෝ මෙසේ වදාරන සේක: “පසුගිය දේ සිහි නොකරන්න; පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න. 19 බලන්න, මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටු වේ; නුඹලාට එය නොපෙනේ ද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා, එහි ජලධාරා ඇති වන්න සලස්වන්නෙමි. 20 මා විසින් තෝරාගනු ලැබූ මාගේ සෙනඟට වතුර දෙන පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලැසූ නිසා හිවලුන් ද පැස්බරුන් ද ඇතුළු වන සත්ත්වයෝ මට ගෞරව කරන්නෝ ය. 21 ඔව්හු, මා උදෙසා ම, මා විසින් මවන ලද සෙනඟ ය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත.” ඉශ්රායෙල්වරුන්ගේ පාපය 22 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය. 23 නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්, නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත. මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත. 24 නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය. 25 එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය. 26 අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න. 27 නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය. 28 නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.” |