Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 42 - Sinhala New Revised Version 2018


සමිඳාණන් වහන්සේගේ සේවකයා

1 “මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.

2 එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත; වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත;

3 තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත.

4 සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”

5 අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:

6 “යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.

7 මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.

8 මම සමිඳාණෝ ය; එය යි මාගේ නාමය. මාගේ තෙද මහිමය අන් දෙවි කෙනෙකුට වත්, මාගේ ප්‍රශංසාව කිසි පිළිමයකට වත් මම නොදෙමි.

9 බලන්න, පෙර මා කී දේ දැන් සිදු වී ඇත; මතු සිදුවන අලුත් දේ සිදුවන්නත් පෙර මම ඔබට ප්‍රකාශ කරමි.”


ප්‍රශංසා ගීයක්

10 සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.

11 කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!

12 ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුමත්, එතුමන් හට මහිමයත් පිරිනමත් වා!

13 සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක; එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක. රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක.


සෙනඟට පිහිට දීමට පොරොන්දුව

14 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බොහෝ කල් නිශ්ශබ්ද ව මාගේ සෙනඟට පිළිතුරු නොදී සිටියෙමි. ප්‍රසව වේදනා ඇති ස්ත්‍රියක මෙන් හතිදමමින්, සුසුම්ලමින් දැන් මහා හඬින් කෑගසමි.

15 මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි.

16 අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි. මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි.

17 රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”


සේවක ඉශ්රායෙල්වරුන්ගේ අඩු ලුහුඬුකම්

18 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, හොඳින් බලන්න.

19 මාගේ සේවකයාට වඩා බිහිරි වූ වෙන කිසිවෙක් සිටිත් ද? මට කැප වූ, සමිඳුන්ගේ මෙහෙකරුවා තරම් අන්ධ කිසිවෙක් ඇද් ද?

20 ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”

21 සමිඳාණන් සාධාරණ බැවින් එතුමන්ගේ අණපනත් උසස් කොට ගෞරවයට පත් කිරීමට එතුමාණෝ ප්‍රසන්න වූ සේක.

22 එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ. ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත. ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති. ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.

23 මේ දේ අසා, මින්මතු ඊට මැනවින් සවන් දෙන කිසිවෙක් නුඹලා අතරේ සිටිත් ද?

24 කොල්ලකාරයන් අතට ඉශ්රායෙල්වරුන් භාර දුන්නේ කවරෙක් ද? සමිඳාණෝ නොවන සේක් ද? අප පව් කෙළේ එතුමන්ට විරුද්ධ ව ය. එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකෙළෙමු. එතුමන්ගේ අණපනත්වලට අපි කීකරු නොවීමු.

25 ඒ නිසා එතුමාණෝ සිය කෝපාග්නිය අපට දැනෙන්නත්, යුද්ධයේ දරුණුකම විඳින්නත් සැලැසූ සේක. ගින්නක් මෙන් එතුමන්ගේ උදහස ඉශ්රායෙල් පුරා ඇවිළී ගියේ ය. එහෙත්, ඉශ්රායෙල් එයින් කිසිවක් තේරුම් නොගත්තේ ය. දැවුණු නමුත් එය සිතට නොගත්තේ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්