යෙසායා 35 - Sinhala New Revised Version 2018ගුණවත්කමේ මාර්ගය 1 වනය ද වියළි දේශය ද ප්රීති වන්නෝ ය; කාන්තාරය ප්රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය. 2 එය ප්රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය. 3 බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න; 4 බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.” 5 අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය. 6 කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය. ගොළු අය ප්රීතියෙන් ගී ගයන්නෝ ය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය. මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය. 7 මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය. 8 ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ. 9 සිංහයෝ එහි නොවෙති, දරුණු මෘගයෝ එමඟෙහි හමු නොවෙති, සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති. 10 ගැළවීම ලැබූ ඔව්හු ප්රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්රීති වෙමින් ඔව්හු එහි වෙසෙති. |