යෙසායා 2 - Sinhala New Revised Version 2018සදාකාලික සාමය 1 ජුදා සහ ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය: 2 මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය. 3 බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය. 4 මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත. 5 අහෝ! ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු. සමිඳාණන් වහන්සේගේ ආගමන දවස 6 සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්ර මන්ත්රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති. 7 ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත. 8 ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති. 9 මේ නිසා සියලුදෙනා නින්දාවටත්, ලජ්ජාවටත් පත් වනු ඇත. සමිඳුනි, ඔවුන්ට කමා නොවුව මැනව. 10 සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. 11 මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. 12 ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක; 13 ලෙබනොන්හි ඇති උස් කිහිරි ගස් සියල්ල ද විනාශ කරන සේක; බාෂාන්හි ඇති ආලෝන ගස් ද 14-15 උස් කඳු හෙල් සියල්ල ද උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක; 16 තර්ෂිෂ්හි සියලු නෞකාවලට විරුද්ධ ව සහ සියලු අලංකාර නෞකාවලට විරුද්ධ වන සේක. 17 ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. 18 සියලු පිළිම සහමුලින් ම පහකරනු ලබන්නේ ය. 19 සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. 20 ඒ දවස පැමිණි විට, රන් රිදීවලින් සාදාගත් පිළිම ඔව්හු මීයන්ට හා වවුලන්ට අත්හැරදමති. 21 සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. 22 හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද? |