Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 15 - Sinhala New Revised Version 2018


මෝවබ් රටේ විනාශය

1 මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය: “එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී; මෝවබ් දේශය පුරා විනාශය ඇත.

2 දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.

3 වීථිවල සිටින සෙනඟ ගෝණි රෙදි ඇඳ සිටිති; ඔව්හු සැම දෙන ම තමන්ගේ පියසි උඩ ද එළිමහන් ඉඩම්වල ද කඳුළු හළමින්, කෑමොරගසා විලාප කියති.

4 හෙෂ්බොන් හා එලෙයාලේ නගරවල සෙනඟ කෑගසති; ඔවුන්ගේ හඬ ජහශ් දක්වා ඇසෙයි. හේවායෝ පවා වෙවුලති. ඔවුන්ගේ ධෛර්යය පහ වී ගොස් ඇත.

5 මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.

6 නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත. ඒ අසල තණ මැලවී ගොස් ඇත. අමු කොළයක් දකින්න වත් නැත.

7 තමන් රැස් කරගත් දේපළ රැගෙන බට පඳුරු ඇති ඔය හරහා පලා යන්න සෙනඟ උත්සාහ කරති.

8 මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.

9 දීමොන් නගරයේ ගඟ ලෙයින් පිරී ඇත. ඊටත් වඩා භයානක දෙයක් එහි සෙනඟට කරන්න දෙවිඳුන් අදහස් කර ඇත. මෝවබ් දේශයෙන් පලා යන අයත්, ඉතිරි ව සිටින සියලු දෙනාත් සිංහයන්ට ගොදුරු වෙති.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්