ද්විතීය නීතිය INTRO1 - Sinhala New Revised Version 2018හැඳින්වීම මෙහි මූලික වශයෙන් අඩංගු වනුයේ ඉශ්රායෙල් ජනතාව පොරොන්දු දේශයට ඇතුළු වෙන්නට සූදානම් වන විට ඔවුන් අමතා මෝසෙස් තුමන් විසින් පවත්වන ලද කතා පෙළකි. කලකට ඉහත දෙන ලද දේව නීතිය දැන් මෝසෙස් තුමා තත්කාලීන භාෂාවෙන් හා ජනතාවගේ තාත්වික ඕනෑ එපාකම් අනුව සංශෝධනය කරමින්, දේව පොරොන්දුව සහ ගිවිසුමේ අඩංගු ඉල්ලීම් සෑම ඉශ්රායෙල් ජාතිකයෙකුට ම සිහිපත් කරවයි. මේ පොත කොටස් හතරකට බෙදිය හැකි ය. මෙහි අඩංගු කරුණු: පරිච්ඡේද 1–4 අවුරුදු හතළිහක් තුළ දෙවියන් වහන්සේ ඉශ්රායෙල් ජනයා පාළුකරය ඔස්සේ ගෙන ගිය ආකාරය සිහිපත් කොට දෙවියන් වහන්සේට කීකරු වන පිණිස මෝසෙස් තුමා සෙනඟට අවවාද කිරීම. පරිච්ඡේද 5–28 දස පනත හා වෙනත් නීති නියෝග යළි සංශෝධනය කිරීම; සමිඳාණන් වහන්සේට පමණක් භක්තිය පෑමේ අවශ්‍යතාව සිහිගැන්වීම. පරිච්ඡේද 29–30 දෙවියන් වහන්සේ හා ජනතාව අතර ඇති කරගත් ගිවිසුමේ නියම තේරුම යළි මතක් කර දීම. පරිච්ඡේද 31–34 දේව ජනතාවගේ නායකයා වශයෙන් ජෝෂුවා පත් කිරීම. මේ ග්‍රන්ථය අවසන් වනුයේ මෝසෙස් තුමන් විසින් දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ගීයක් ගයනු ලැබීමෙන් පසු එතුමා ඉශ්රායෙල් ජනතාවට ආශීර්වාද දී මෝවබ් දේශයේ දී උන් වහන්සේ තුළ සැතපුණු බව වාර්තා කිරීමෙන් ය. මේ කෘතියේ උදාර තේමාව නම්, දෙවියන් වහන්සේ, තමන් තෝරාගත්, තමන් ප්‍රේම කරන සෙනඟ ගළවා ඔවුන්ට ආශීර්වාද කිරීම ය; එබැවින් දේව ජනතාව මෙය සිහිපත් කළ යුතු ය; ඔවුන්ට ජීවනයත්, ආශීර්වාදයත් නොනවත්වා හිමි වන පිණිස ඔවුන් උන් වහන්සේට ප්‍රේම කොට කීකරු විය යුතු ය. පසු කලක දී ජේසුස් සමිඳාණන් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨතම පනත ලෙස හඳුන්වා දෙන ලද, “ඔබේ දෙවියන් වහන්සේට ඔබේ මුළු සිතින් ද ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න” යන වගන්තිය මෙහි හය වන පරිච්ඡේදයේ අඩංගු වී ඇත. |