යෝබ් 5 - Sinhala New Revised Version 20181 “දැන් ඉතින් හඬගා බලන්න. පිළිතුරු දෙන කෙනෙක් ඇද් ද? සගලොව කවර දේව දූතයෙකු වෙත ඔබ හැරෙන්නෙහි ද? 2 දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය. 3 අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත; එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි. 4 ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත; නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත. උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත. 5 අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති. 6 විපත පොළොවේ පසින් හට නොගනියි; දුක භූමියෙන් මතු නොවෙයි. 7 ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි. 8 එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි. 9 එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය. 10 දෙවි තුමාණෝ මහ පොළොවට වැසි වස්වන සේක; කෙත්වතු පිට දිය වගුරුවන සේක; 11 එතුමාණෝ පහත් අය උසස් කරන සේක. ශෝක වන්නන්ට ප්‍රීතිය ගෙන දෙන සේක. 12 එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක; ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක. 13 කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක; ශූරයින්ගේ කුමන්ත්‍රණ සැණෙකින් බිඳ දමන සේක. 14 මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ; මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති. 15 එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක. 16 මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත; අදමිටු දන නිහඬ වනු ඇත. 17 දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය. සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න. 18 තුවාළ කරන්නේත් එතුමාණෝ ය; තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය. 19 පිට පිට විපත් පැමිණියත් එතුමාණෝ ඔබ ගළවන සේක; පිට පිට විපත් පැමිණියත් ඔබට අනතුරක් නොවනු ඇත; 20 සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක. 21 බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත; විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත; 22 විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත; වග වලසුන්ගෙන් බියක් ඔබට නැත; 23 ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත; වන සිවුපාවුන්ගෙන් පීඩාවක් නැත; 24 ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය; බැටළු ගාලෙන් කිසිදු සතෙකු නැති නොවන බව ඔබ දන්නෙහි ය. 25 ඔබේ දරු පරපුර වැඩි වනු ඇත; මහා පොළොව මත තණ පත් මෙන් වැඩි වනු ඇත; 26 නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත; 27 කිරි ගසට ඇන්නාක් මෙන් මේවා සැබෑ බව අත්දැකීමෙන් අපි දනිමු. ඔබත් විමසා බලා මේවා ඔබේ යහපතට බව ඔබ ම දැනගන්න.” |