Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 31 - Sinhala New Revised Version 2018


ජෝබ් නිදොස් බව කියා සිටීම

1 “දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළ‍න්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි.

2 ඉහළ වසන දෙවිඳුන්ගෙන් වන ප්‍රතිවිපාක ද සගලොව සව් බලැති එතුමාණන් නියම කළ ඉරණම ද කාට නම් කිව හැකි ද?

3 අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.

4 එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?

5 මම කපටිකමේ හැසුරුණෙම් නම්, බොරුකාරකමින් නොවැළකුණෙම් නම්,

6 දැහැමි බව නමැති තරාදියෙහි දමා එතුමාණෝ මා කිරා බලන සේක් නම්, මා අවංක බව දැන ගනු ඇත.

7 මම යහ මඟින් ඉවත් ව ගියෙම් නම්, මා සිත මාගේ බැල්මෙන් නොමඟ ගියේ නම්, මාගේ ක්‍රියා පවින් කිළිටි වී නම්,

8 මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා! මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා!

9 අන් ස්ත්‍රියකට මාගේ සිත වසඟ වී නම්, මාගේ අසල්වැසියාගේ බිරිඳ ගැන සිතා, ඇගේ දොරකඩ ළඟ සැඟවී රැක සිටියෙම් නම්,

10 මාගේ ම බිරිඳ අන් කෙනෙකුට බැල මෙහෙවර කරා වා! අන් පුරුෂයෝ ඇය සමඟ සයනය කරත් වා!

11 මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි.

12 එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි; එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.

13 මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,

14 දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද? දෙවිඳුන්ගේ නඩු ආසනය ඉදිරියෙහි මම කවර උත්තරයක් දෙම් ද?

15 කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද? මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?

16 මම කිසි දා දිළිඳුන්ට පිහිට නොවී නොසිටියෙමි. වැන්දඹුවක දුක් බරින් පසු වන්නට ඉඩ නොහැරියෙමි.

17 පියා නැත්තා හට කෑම ටිකක් නොදී මම තනියම කෑම නොකෑවෙමි.

18 මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි; උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.

19 වස්ත්‍ර නැති ව නසින්නට යන අය ද පොරෝනාව නැති දිළිඳු අය ද දුටු විට,

20 මම මාගේ ම බැටළු ලොම්වලින් ඔවුන්ගේ ඇඟ උණුසුම් කෙළෙමි. එවිට ඔව්හු හද පත්ලෙන් මට ප්‍රශංසා කළෝ ය.

21 උසාවියේ දී මාගේ පැත්ත ගන්න අය සිටින බව මා දන්න නිසා, මම නිදොස් අයට විරුද්ධ ව අත එසවීම් නම්,

22 මාගේ උරහිස එහි හන්දියෙන් ගැලවී වැටේ වා! මාගේ අත වැලමිටෙන් බිඳී යේ වා!

23 මන්ද දෙවිඳාණන්ගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය; එතුමාණන්ගේ මහානුභාවයට මුහුණ දීමට මට ශක්තියක් නො වී ය.

24 මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.

25 මාගේ යසඉසුරු ගැන වත්, මා උපයා ගත් වස්තුව ගැන වත් අහංකාර නොවූයෙමි.

26 මම කවදාවත් ප්‍රතාපවත් හිරු දෙවියන්ට හෝ රුවින් යුත් සඳ දෙවියන්ට හෝ නමස්කාර නොකෙළෙමි.

27 හස්තමුද්‍රාවෙන් සිඹීමේ පෙම් ලකුණ දක්වා, ඔවුන් නමදින පිණිස මට පෙළඹීමක් නො වී ය.

28 එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි. එවන් පාප ක්‍රියාවකට යුතු දඬුවම මරණය වේ.

29 මට වෛර වූ අයට විනාශය පැමිණි විට මම සන්තෝෂ නොවූයෙමි. ඔවුන් විපතට අසු වූ විට ප්‍රීති නොවූයෙමි.

30 ‘ඔවුන්ට මරණය පැමිණේ වා’යි සාප කිරීමෙන් හෝ දෙස් කීමෙන් හෝ මම පව් නොකෙළෙමි.

31 මා අමුත්තන් සතුටින් පිළිගන්න බව මට සේවය කරන හැම දෙන ම දනිති.

32 අමුත්තන්ට පිටත වීදිවල රැය ගත කිරීමට නෑර මම ඔවුන් මාගේ නිවෙසට පිළිගතිමි.

33 වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති; එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.

34 සෙනඟගේ කටකතාවලට බියෙන් වත්, මිනිසුන්ගේ අපරාධ නිසා කැළඹීමෙන් වත් මම නිහඬ වී, ගේ ඇතුළට වී නොසිටියෙමි.

35 අහෝ! මට සවන් දෙන කෙනෙක් නැද් ද? මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි. සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා! මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!

36 සැබැවින් මම එය කරපින්නා ගන්නෙමි; හිස මත කිරුළක් මෙන් පළඳින්නෙමි.

37 මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි; රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.

38 මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්,

39 මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්,

40 මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!” ජෝබ්ගේ කතාව නිමි.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්