Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 24 - Sinhala New Revised Version 2018

1 “සව් බලැති දෙවිඳාණන්ගේ විනිශ්චය දවස නියම නොකරන්නේ මන් ද? එතුමන් නමදින දනන් ඒ දිනය නොදන්නේ මන් ද?

2 දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති; ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.

3 සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති; වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.

4 දිළිඳුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම ඔව්හු වළක්වති. දුව ගොස් සැඟවෙන ලෙස දිළිඳුන් හට ඔව්හු බල කරති.

5 දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති. අන් කිසි තැනකින් දුප්පතුන්ට කෑම සොයාගන්නට බැරිය.

6 ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති; දුදනන්ගේ මිදිවතුවලින් මිදි පල නෙළාගනිති.

7 රාත්‍රියේ දී පොරවාගන්නට වස්ත්‍ර නැති ව, ශීතලයට වැස්ම නැති ව ඔව්හු නින්දට යති.

8 කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.

9 දුදනෝ මවු ළයෙන් අනාථ දරුවන් උදුරාගනිති. දිළිඳුන්ගේ දූ දරුවන් ඇප වෙනුවට තබාගනිති.

10 කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති. ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති.

11 දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති.

12 නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.

13 ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත. ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත. ඒ මාවතෙහි ගමනක් නැත.

14 මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.

15 පරදාර සේවනය කරන්නා ඇඳිරි වන තුරු බලා සිට, කිසිවෙකුට නොපෙනෙන පරිදි තම මුහුණට වැස්මක් දමා ගනියි.

16 සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති; දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති.

17 ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය; රෑ අඳුරට ඔව්හු ප්‍රිය කරති.” ශෝපර් මෙසේ පිළිතුරු දුන්නේ ය:


ශෝපර්ගේ කතාව

18 “දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න; ඔවුන් සතු වතුපිටිවල දේව සාපය ඇත. ඔව්හු තවත් මිදි වත්තේ වැඩට නොයති.

19 නියඟය හා ශ්‍රීෂ්මය නිසා හිම දිය වී යන්නේ ය; පාපිෂ්ඨයා එලෙස ම ජීවතුන් අතරෙන් පහ ව යයි.

20 වැදූ මව පවා ඔහු සිහි නොකරයි; පණුවෝ ඔහු කා දමති; බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි.

21 මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට, වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි.

22 දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත; ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත.

23 දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක; හැම මොහොතෙහි ම එතුමන්ගේ දෙනෙත ඔවුන් යන මඟ වෙත යොමු වේ.

24 මොහොතකට ඔව්හු උසස් වෙති; එහෙත්, වල් පැළෑටි මෙන් ඔව්හු වහා මැලවී යති. කපා දැමූ ගොයම් මෙන් ඔව්හු තුරන් ව යති.

25 මේ මාගේ කියමන් බොරු නම්, මාගේ ඒ තර්කය බිඳලිය හැකි යම්කිසි සමතෙක් මෙලොව ඇද් ද?”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්