Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 16 - Sinhala New Revised Version 2018


ජෝබ්ගේ පිළිතුර

1 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:

2 “මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.

3 සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද? මෙබඳු පිළිතුරු දීමට කුමක් ඔබ පොළඹවන්නේ ද?

4 මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.

5 එහෙත්, මම එසේ නොකරමි; මම දිරිය වඩන වචන ම කියමි; එවිට මාගේ අස්වැසිල්ල දිය පාරක් මෙන් ගලා යනු ඇත.

6 මා කතා කළත් මාගේ දුක තුනී වන්නේ නැත. මා නිහඬ ව සිටියත් මට ඇති සහනය කුමක් ද?

7 සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත; ඔබ මාගේ දූ පුතුන් මැරෙන්නට සලස්වා ඇත;

8 ඔබ මා කය පොඩි කර ඇත; මම ඇටකටු ගොඩක් පමණි. එය මා වැරදිකරු බවට සාක්ෂි දෙයි.

9 එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත. එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.

10 මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ. ඔව්හු මට එරෙහි ව රැස් වී සිටියහ.

11 දෙවිඳුන් මා අභක්තිකයන් අතට පාවා දී ඇත; දුදනන් වෙත මා පලවා හැර ඇත.

12 එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි. එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුණු විසුණු කළ සේක. එතුමාණන්ගේ දුනුවායෝ මා වට කරගත්හ. එතුමාණෝ මා ඉලක්කයක් කරගත්හ.

13 එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ; එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක; පිත බිම වගුරුවන සේක;

14 පහර පිට පහර දී මාගේ ආරක්ෂා පවුර බිඳ දමන සේක. නිර්භීත සෙබළෙකු මෙන් එතුමාණෝ මට විරුද්ධ ව දුව එන සේක.

15 මම ගෝණි රෙදි මසා, මාගේ හම වසාගෙන, දුකින් දුබල ව දූවිල්ලෙහි හිඳගතිමි.

16 හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත; මාගේ ඇස් වටා කළු වී ඇත.

17 මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත.

18 එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා!

19 මා වෙනුවෙන් සාක්ෂිකරුවෙක් සගලොව ඇත. මට පක්ෂ ව කතා කරන කෙනෙක් උසස් ස්ථානයෙහි වසයි.

20 මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි. මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.

21 මිනිසා දෙවිඳුන් සමඟ ද මිනිසා මිනිසා සමඟ ද ඉටු කළ යුතු යුක්තිය එතුමාණෝ ආරක්ෂා කරන සේක් වා!

22 ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි. මට ඉතිරි ව ඇත්තේ තව අවුරුදු ස්වල්පයකි.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්