Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙරෙමියා 43 - Sinhala New Revised Version 2018


ජෙරමියා මිසරයට ගෙනයනු ලැබීම

1 සෙනඟගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සියලු වචන උන් වහන්සේගේ සෙනඟට කියන පිණිස යවනු ලැබූ ජෙරමියා, ඒ සියලු වචන මුළු සෙනඟට ප්‍රකාශ කර නිම කෙළේ ය.

2 එකල හෝෂායාගේ පුත් අසරියා ද කාරේයාගේ පුත් ජොහානාන් ද උඩඟු වූ අනෙක් සියලු මනුෂ්‍යයෝ ද ජෙරමියාට කතා කොට, “ඔබ බොරු කියන්නෙහි ය. මිසරයෙහි ජීවත් වන්නට එහි නොයන්නැ යි කියන පිණිස අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප වෙත ඔබ එව්වේ නැත.

3 බබිලෝනිවරුන් අප මරන්නට හෝ බබිලෝනියට අප අල්ලාගෙන යන්නට හෝ ඔවුන්ගේ අතට අප පාවා දෙන පිණිස නේරියාගේ පුත් බාරුක් අපට විරුද්ධ ව ඔබ පොළඹ වන්නේ ය”යි කී හ.

4 මෙසේ කාරේයාගේ පුත් ජොහානාන් ද සේනාවල සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද ජුදා දේශයෙහි නැවතී සිටින පිණිස සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නො වූ හ.

5 එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ සේනාවල අධිපතීහු ද විජාතීන් අතරට පන්නනු ලැබූ නමුත්, ජුදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආ ඉතිරි ව සිටි සියලු ජුදෙව්වරුන් වන,

6 පුරුෂයෝ ද ස්ත්‍රීහු ද දරුවෝ ද රාජ කුමාරිකාවෝ ද රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත් වූ අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත නවත්වනු ලැබූ සියලු දෙනා ද යන මොවුහු දිවැසිවර ජෙරමියා ද නේරියාගේ පුත් බාරුක් ද රැගෙන,

7 සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී මිසර දේශයට පැමිණියහ. තවද, ඔව්හු තාපන්හේස් දක්වා ගියහ.

8 එකල තාපන්හේස්හි දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:

9 “නුඹේ අතින් ලොකු ගල් රැගෙන ජුදෙව්වරුන් බලා සිටිය දී තාපන්හේස්හි පාරාවෝගේ මාලිගාවේ දොරටුවෙහි තිබෙන ගඩොල් වේදිකාවේ බදාම තුළ සඟවා තබන්න.

10 ඉන්පසු ඔවුන්ට කතා කොට ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න. ‘බලන්න, මම මිනිසුන් යවා මාගේ සේවක, බබිලෝනියේ රජු වන, නෙබුකද්නෙශර් ගෙන්වා, මා සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය පිහිටුවන්නෙමි. ඔහු ද තමාගේ රාජකීය සේසත එයට ඉහළින් තබනු ඇත.

11 ඔහු අවුත් මිසර දේශයට පහර දෙනු ඇත. වසංගතයට නියම වූ අය වසංගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත්, කඩුවට නියම වූ අය කඩුවටත් ගොදුරු වනු ඇත.

12 මම ද මිසරයේ දේවාල ගිනිබත් කරන්නෙමි. බබිලෝනියේ රජු ලවා ඒ දෙවිවරුන් පුළුස්සාදැමීමට හෝ ඔවුන් පැහැරගෙන යාමට හෝ සලස්වන්නෙමි. එඬේරෙකු තමාගේ ඇඳුමේ ඇති කිනිතුල්ලන් පිස දමා පවිත්‍ර කරන්නාක් මෙන් බබිලෝනියේ රජ මිසර දේශය පවිත්‍ර කර ජයාන්විත ව එතැනින් පිටත් ව යන්නේ ය.

13 ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුලුණු බිඳදමා, මිසරයේ දේවාල ගින්නෙන් දවාලන්නේ ය.’ ”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්