Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 99 - Sinhala New Revised Version 2018


ශ්‍රේෂ්ඨ දෙවි රජාණෝ

1 සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.

2 සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක.

3 අති උතුම් තෙද බලැති එතුමාණන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය. එතුමාණෝ සුවිශුද්ධ වන සේක.

4 අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක, ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක; ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක.

5 අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමාණන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක.

6 එතුමාණන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමාණන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.

7 වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක. එතුමාණෝ ඔවුන්ට දුන් අණපනත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය.

8 අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක. ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක.

9 අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමාණන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්