Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 94 - Sinhala New Revised Version 2018


දේව විනිශ්චය

1 සමිඳාණන් වහන්ස, ඔබ වරදට දඬුවම් දෙන දෙවි කෙනෙකි; ඔබේ උදහස පෙන්නුව මැනව.

2 ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව.

3 සමිඳුනි, දුදනෝ කොපමණ කල් ජයශ්‍රීයෙන් උදන් අනන්නෝ ද? තව කොපමණ කල් ජය ගොස කරන්නෝ ද?

4 අපරාධකාරයෝ තව කොපමණ කල් අහංකාර වන්නෝ ද? ඔව්හු තමන්ගේ අපරාධ ගැන තව කොපමණ කල් වහසි බස් දොඩන්නෝ ද?

5 සමිඳුනි, ඔව්හු ඔබේ ජනතාව මැඬලන්නෝ ය, ඔබ තෝරාගත් සෙනඟට පීඩා කරන්නෝ ය.

6 ඔව්හු වැන්දඹුවන් ද අනාථයන් ද නසාදමන්නෝ ය; අප රටේ වසන විදේශීන් මරාදමන්නෝ ය.

7 “සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය.

8 මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද?

9 අපේ කන් මැවූ දෙවිඳුන්ට නෑසෙන්නේ ද? අපට ඇස් දුන් දෙවිඳුන්ට නොපෙනෙන්නේ ද?

10 විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?

11 මිනිසුන්ගේ සිතුවිලි කවරේ ද කියාත්, ඒවා කොපමණ නිරර්ථක ද කියාත් සමිඳාණෝ දන්න සේක.

12 සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපනත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.

13 ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය.

14 සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.

15 අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය.

16 දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?

17 සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි.

18 “මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය.

19 මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක.

20 යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය.

21 ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය; නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය.

22 එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක; මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක.

23 එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්