Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 90 - Sinhala New Revised Version 2018


සතර වන කාණ්ඩය අපේ සදාතන සරණ
( ගීතා 90—106 )
දේව භක්තික මෝසෙස්ගේ යාච්ඤාවකි.

1 සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.

2 කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සකල ලොව ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.

3 ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක.

4 ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.

5 සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.

6 උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.

7 ඔබේ කෝපය අප දවාලන්නේ ය; ඔබේ උදහස අප කළඹාලන්නේ ය.

8 අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය.

9 අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය.

10 අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.

11 ඔබේ කෝපයේ බලවත්කම දන්නේ කවරෙක් ද? ඔබේ උදහසින් වන භීතිය කාට තේරුම්ගත හැක්කේ ද?

12 දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.

13 සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.

14 උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.

15 අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.

16 ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.

17 අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්