ගීතාවලිය 88 - Sinhala New Revised Version 2018දුගියාගේ මොරගැසීම කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි. නිජ බිම හේමාන් යන තැනැත්තාගේ ගීතයකි. 1 මාගේ දෙවි සමිඳාණන් වහන්ස, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි. 2 මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව. 3 මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය. මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය, 4 මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි. 5 මළවුන් අතර ම උන් කෙනෙකු මෙන් මම අත්හරිනු ලැබුවෙමි; සොහොනේ තැන්පත් කරනු ලැබූ කෙනෙකු මෙන් මම වැටී සිටියෙමි; ඔබ විසින් සදහට ම අමතක කරන ලද ඔබේ සරණින් ඈත් වූවෙකු මෙන් වී සිටිමි. 6 ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක. අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක. 7 ඔබේ උදහස මට මහ බරකි; ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය. 8 ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය. 9 කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි. 10 ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද? 11 සොහොන් වළෙහි දී ඔබේ තිර පෙම ගැන ද පාතාලයෙහි දී ඔබේ විශ්වාසවන්තකම ගැන ද කතා කරනු ලැබේ ද? 12 ඔබේ අසිරිමත් ක්‍රියා අඳුරෙහි දී පෙන්වනු ලැබේ ද? ඔබේ යහපත්කම මළවුන්ගේ දේශයෙහි දී සිහි කරනු ලැබේ ද? 13 සමිඳුනි, මම ඔබට හඬගසන්නෙමි; අලුයම මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! 14 සමිඳුනි! ඔබ මා ප්‍රතික්ෂේප කරන්නේ මන් ද? මා වෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නේ මන් ද? 15 යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි. 16 ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය. 17 ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය. 18 මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ. |