Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 82 - Sinhala New Revised Version 2018


අදමිටු විනිසකරුවන්ට තරවටුවක්
ආසාප්ගේ ගීතයකි.

1 දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක. දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.

2 ඔබ කොපමණ කලක් අයුතු ලෙස විනිශ්චය කරන්නහු ද? දුදනන්ගේ පැත්ත ගෙන ක්‍රියා කරන්නහු ද?

3 දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න; පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න;

4 දුබලුන් හා දිළිඳුන් මුදාලන්න; දුදනන්ගේ ග්‍රහණයෙන් ඔවුන් බේරාගන්න.

5 නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය. පොළෝ පදනම් සියල්ල කම්පා වන්නේ ය.

6 “ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.

7 එහෙත්, ඔබ අන් මිනිසුන් මෙන් මරණයට බිලි වන්නහු ය. රජ දරුවන් මෙන් ඔබ සියලු දෙන වැටී යන්නහු ය.

8 අහෝ දෙවිඳුනි! ඔබ නැඟිට මිහිතලය විනිශ්චය කරන සේක් වා! සියලු ජාතීහු ඔබ වහන්සේට අයිති ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්