ගීතාවලිය 8 - Sinhala New Revised Version 2018දේව මහිමය හා මිනිසාට හිමිවූ උදාරත්වය 1 සමිඳාණන් වහන්ස, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය. 2 කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක. රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක. 3 සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි, 4 ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය. 5 එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. 6 ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 7 ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක. 8 ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක. 9 දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? |