Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 78 - Sinhala New Revised Version 2018


ඉශ්රායෙල් ඉතිහාසයෙන් උපදෙස්
ආසාප්ගේ ගීතයකි.

1 මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව. මා පවසන වදන්වලට සවන් දුන මැනව.

2 උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි.

3 අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු.

4 දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳාණන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමාණෝ කළ හාස්කම් ද කියාපාන්නෙමු.

5 එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපනත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක.

6 මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.

7 මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමාණන්ගේ අණපනත් සදහට ම පිළිපදින්නෝ ය.

8 මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.

9 එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය.

10 ඔව්හු දෙවිඳුන් සමඟ වූ ගිවිසුම ඉටු නොකළෝ ය. එතුමාණන්ගේ නීතිය අනුව හැසිරීමට එකඟ නොවූවෝ ය.

11 එතුමාණන්ගේ ක්‍රියා ඔව්හු අමතක කළෝ ය. ඔවුන්ට දැක්වූ අරුමපුදුම දේ සිහි නොකළෝ ය.

12 ඔවුන්ගේ පියවරුන් අබියස එතුමාණෝ හාස්කම් පෑ සේක. මිසර දේශයෙහි ද ශොවන් මිටියාවතෙහි ද එලෙස කළ සේක.

13 මුහුද දෙබෑ කොට එය මැදින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක. ජලකඳ වේල්ලක් මෙන් සිටීමට සැලැසූ සේක.

14 දිවා කාලයේ වලාකුළක් මඟින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක. රෑ කාලයේ ආලෝකයක් මඟින් ඔවුන්ට මඟපෙන්වූ සේක.

15 පාළුකරයේ දී එතුමාණෝ පර්වතය දෙදරවා හැරිය සේක; ගැඹුරු ජලාශයකින් මෙන් ඔවුන්ට බොන්නට ජලය දුන් සේක.

16 පර්වතයෙන් දිය දහර ගලා එන්න සැලැසූ සේක. ජලය ගංගා මෙන් ගලා යන්න සැලැසූ සේක.

17 එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමාණන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය. වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.

18 ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය; තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය.

19 දෙවිඳුන්ට විරුද්ධ ව ඔව්හු කතා කරමින්, “පාළුකරයේ දී ආහාර සැපයීමට එතුමාණන්ට හැකි දැ”යි ඇසුවෝ ය.

20 තවද, “ගංගාවක් මෙන් වේගයෙන් වතුර ගලා බසින පිණිස එතුමාණෝ පර්වතයට පහර දුන් නමුත්, ජනතාවට රොටි දිය හැකි ද? ඔවුන්ට මාංස දිය හැකි ද?” කියා ඔව්හු ඇසුවෝ ය.

21 සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමාණන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.

22 එසේ වූයේ, ඔවුන් දෙවිඳුන් විශ්වාස නොකළ බැවිනි; එතුමාණන්ගේ විමුක්තිදායක බලය කෙරෙහි ඔවුන් විශ්වාසය නොතැබූ බැවිනි.

23 එහෙත්, එතුමාණෝ ඉහළ අහසට කතා කළ සේක; සගලොව දොරටු විවෘත කළ සේක.

24 ඔවුන්ට කෑමට මන්නා වැසි වැස්වූ සේක. සගලොවින් ධාන්‍ය ප්‍රදානය කළ සේක.

25 දෙව් දූතුන්ගේ ආහාර පොදු ජනතාව අනුභව කළහ. එතුමාණෝ පමණටත් වඩා ආහාර පාන එවූ සේක.

26 අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක; සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.

27 ඔවුන් පිට දූවිලි මෙන් මස් මාංස වස්වා වදාළ සේක; පියාඹන පක්ෂීන් මුහුදු වැලි මෙන් එවූ සේක.

28 ඔවුන්ගේ කඳවුරු මැදට ඒවා හෙළූ සේක; ඔවුන් වසන තැන් සිසාරා ඒවා වැටෙන්නට සැලැසූ සේක.

29 මෙසේ ඔව්හු කා බී සෑහීමට පත් වූවෝ ය. ඔවුන් ආශා කළ දේ එතුමාණෝ ප්‍රදානය කළ සේක.

30 එහෙත්, ඔවුන්ගේ ආශාව සංසිඳෙන්නත් ප්‍රථම, ඔවුන්ගේ කටේ ආහාර තිබිය දී පවා මැසිවිලි දෙඩීම ඔව්හු නොනැවැත්වූවෝ ය.

31 දේව උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ ඔවුන’තර සිටි සවිමත් දනන් නසා ඉශ්රායෙල් වංශයේ හොඳ ම තරුණ පෙළ වනසාදැමූ සේක.

32 මේ සියල්ල තිබිය දී ම ඔවුහු දිගින් දිගට ම පව් කළෝ ය; එතුමාණන්ගේ විස්මිත ක්‍රියා විශ්වාස නොකළෝ ය.

33 එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක. ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක.

34 එතුමාණන් ඔවුන්ගෙන් සමහරුන් වැනසූ කල, සෙසු අය එතුමාණන් සෙවුවෝ ය. ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන දෙවිඳාණන් සොයා ගියෝ ය.

35 ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.

36 එහෙත්, ඔව්හු එතුමාණන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය.

37 ඔවුන්ගේ සිත් එතුමාණෝ කෙරෙහි නිතර ම එකඟ නො වී ය. එතුමාණන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය.

38 එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.

39 ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක.

40 පාළුකරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට විරුද්ධ වූවෝ ද? කාන්තාරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට දුක් දුන්නෝ ද?

41 ඔව්හු නැවත නැවතත් දෙවිඳුන් පිරික්සූ හ. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් කුපිත කළෝ ය.

42 එතුමාණන්ගේ බල මහිමය වත්, සතුරන්ගෙන් ගළවාගත් දිනය වත් ඔව්හු සිහි නොකළෝ ය.

43 එතුමාණන් මිසරයේ දී කළ හාස්කම්වත්, ශෝවන් මිටියාවතේ දී කළ අසිරිමත් ක්‍රියාවන්වත් ඔව්හු සිහි නොකළෝ ය.

44 එතුමාණෝ ඔවුන්ගේ ගංගා ජලය ලේ බවට හැරෙවු සේක; පානය කිරීමට නොහැකි වන ලෙස දියකඳ ලේ බවට හැරෙවු සේක.

45 ඔවුන්ට හිරිහැර කිරීමට එතුමාණෝ මැසි කැල එවූ සේක; ඔවුන්ගේ රට වනසාලීමට මැඩියන් එවූ සේක.

46 එතුමාණෝ ඔවුන්ගේ අස්වැන්න දළඹුවන්ට දුන් සේක; ඔවුන්ගේ ශ්‍රමයේ පලදාව පළඟැටියන්ට දුන් සේක.

47 එතුමාණෝ ගල් වර්ෂාවෙන් ඔවුන්ගේ මිදි වැල් නසා ලූ සේක; තුෂාරයෙන් ඔවුන්ගේ අත්තික්කා ගස් විනාශ කළ සේක.

48 ඔවුන්ගේ ගවමහිෂයන් ගල් වැස්සෙන් යට කළ සේක; එළු බැටළු පට්ටි හෙණ අකුණුවලට පාවා දුන් සේක;

49 ඔවුන්ට විරුද්ධ ව තමන්ගේ දැවෙන කෝපයත්, රෝෂයත්, විනාශයත් එවූ සේක; මේවා මාර දූත පිරිසක් මෙන් එවූ සේක.

50 එතුමාණෝ තම කෝපයට ඉඩ දී ඔවුන් මරණයෙන් බේරා නොගත් සේක; වසංගතයෙන් ඔවුන් වනසා ලූ සේක.

51 මිසරයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක. හාම්ගේ කූඩාරම්හි සිටි ඔවුන්ගේ කුලුඳුලන් විනාශ කළ සේක.

52 ඉන්පසු එතුමාණෝ තමන් සෙනඟ බැටළුවන් මෙන් ගෙන ගිය සේක. පාළුකරය මැදින් යන බැටළු රැළකට මෙන් ඔවුන්ට මඟපෙන්වූ සේක.

53 නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක. එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.

54 එතුමාණෝ තම ශුද්ධ දේශයට ඔවුන් ගෙනා සේක; තම බලයෙන් දිනාගත් කන්දට ඔවුන් ගෙනා සේක.

55 එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.

56 එහෙත්, ඔව්හු දෙවිඳුන් පිරික්සමින් එතුමාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. මහෝත්තමයාණන්ගේ අණපනත් නොතකා හැරියෝ ය.

57 ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් ආපසු හැරී යමින් විශ්වාසය කඩ කළෝ ය. ඇද වුණු දුන්නක් මෙන් ඔවුන්ගේ විශ්වාසය වක් විය.

58 මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය. ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.

59 දෙවිඳුන්ට මෙය ඇසුණු විට එතුමාණෝ බලවත් ලෙස උදහස් වූ සේක; එතුමාණෝ ඉශ්රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළ සේක.

60 එතුමාණෝ ෂිලෝහි වාසභවනය අත්හළ සේක; මිනිසුන් අතර පිහිටෙවු කූඩාරම හැර ගිය සේක.

61 එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.

62 එතුමාණෝ සිය සෙනඟ කඩු පහරට භාර දුන් සේක. සිය උරුමය වන සෙනඟ කෙරෙහි උදහස් වූ සේක.

63 ගින්න ඔවුන්ගේ තරුණයන් ගිලගත්තේ ය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීතයක් නො වී ය.

64 ඔවුන්ගේ පූජකවරු කඩුවෙන් නැසුණෝ ය. ඔවුන්ගේ වැන්දඹුවෝ ශෝක ගීත ගායනා නොකළෝ ය.

65 සමිඳාණෝ නින්දෙන් අවදි වන කෙනෙකුන් මෙන් පිබිදුණ සේක; මිදිපැන් මතින් කෑමොරගසන වීර භටයෙකු මෙන් වූ සේක.

66 එතුමාණෝ සිය සතුරන්ට පහර දී ඔවුන් පලවා හැරිය සේක; සදා ලජ්ජාවට ඔවුන් පත් කළ සේක.

67 එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක; එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක.

68 එහෙත්, එතුමාණෝ ජුදාගේ ගෝත්‍රය තෝරාගත් සේක; සියොන් කන්දට ප්‍රේම කළ සේක.

69 එතුමාණෝ සදහට ම පිහිටෙවු පොළොව මෙන් ස්ථිර ව ද අහස් තලය මෙන් උසස් ව ද සිය ශුද්ධස්ථානය ඉදි කළ සේක.

70 එතුමාණෝ තම සේවක දාවිත් තෝරා ගත් සේක; බැටළු රැළ රැකබලාගැනීමෙන් ඔහු ඉවතට ගත් සේක.

71 සිය උරුමය ද ජාකොබ්ගේ පරපුර ද වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා එතුමාණෝ බැටළුවන් රැකබලාගැනීමෙන් දාවිත් කැඳවාගත් සේක.

72 දාවිත් අවංක සිත් ඇති ව සෙනඟ රැකබලාගත්තේ ය. මහ දස්කම් දක්වා ඔහු ඔවුන්ට මඟපෙන්වූ සේක.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්