Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 76 - Sinhala New Revised Version 2018


ජයග්‍රාහී දෙවියන් වහන්සේ
ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි.

1 දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක. ඉශ්රායෙල්වරුන් අතර එතුමාණන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය.

2 එතුමාණන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමාණන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය.

3 එහි දී එතුමාණෝ සතුරන්ගේ ඊ සැරය බිඳ දැමූ සේක. ඔවුන්ගේ කඩුවට, පලිහට හා යුද අවියට එලෙස ම කළ සේක.

4 අහෝ දෙවිඳුනි! ඔබ කොපමණ මහිමාන්විත ද? සදා පවතින කඳු වැටියට වඩා කොපමණ තේජාන්විත ද?

5 ඔවුන්ගේ එඩිතර සෙබළුන් සතු දේ කොල්ලකනු ලැබී ය. දැන් ඒ වීරයෝ අවසාන නින්දට වැටී ඇත්තෝ ය. ඔවුන්ගේ බල විකුම් නිෂ්ඵල වී ඇත්තේ ය.

6 ජාකොබ්ගේ පරපුරේ දෙවිඳුනි, ඔවුන්ට ඔබ තර්ජනය කළ සේක. අශ්වයෝ හා අසරුවෝ මැරී වැටුණෝ ය.

7 සමිඳුනි, සියලු දෙන ඔබට ගරුබිය පෑ යුතු ය. ඔබේ දැවෙන උදහසට මූණ දීමට කවරෙක් සමත් වන්නේ ද?

8 ඔබ සගලොව සිට තීන්දුව දීමට සැලැසූ සේක. ලොව තැති ගෙන නිහඬ වූයේ ය.

9 දෙවිඳුනි, ඔබ වහන්සේ විනිශ්චය සඳහා නැඟිටින සේක; මිහි පිට පීඩිත වූවන් ගළවනු පිණිස වඩින සේක.

10 මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.

11 ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමාණෝ වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!

12 එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්